rejka jels
නිරෝගීබව අත්‍යාවශ්‍ය දෙයක්. රෝගී වුවහොත් කොහොමද මේ ජීවිතයේ දී වත් සිල්පද ආරක්‍ෂා කරගන්නේ ? ඒ නිසා පිංවත් ඔබ අනුන් ගැන නොසිතා තම තමන් සතර අපායේ දුක දකිමින්, සතර අපායෙන් මිඳීම අරමුණු කරමින්, එහෙත් නිරෝගී ජීවිතයක් ලබමින් සැනසීම පිණිස සත්ත්ව හිංසාවෙන් වළකින්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට දේශනා කරනවා. ‘සුභ යමෙක් රෝගීව ඉපදේනම්, නිරතුරුවම රෝගවලට ගොදුරු වෙමින් ජීවත් වේ නම් ඊට හේතුව පෙර භවයේදී සත්ත්ව හිංසාව සිදු කිරීමයි කියලා.
බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිලා, වසංගත රෝග පැතිරෙනවා. මේ අපි දකින්නේ අප පෙර ජිවිතවලදී කරන ලද සත්ත්ව හිංසාවේ ඵලයන් තමයි.
අවිද්‍යාව නිසා සකස් වන ‘ලෝකය සැපයි’ කියන මතය අයින් කර ගැනීමට යාම නිසාමයි ඔබ අතින් මනුෂ්‍ය හිංසනය සිදු වන්නේ.
ඔබ භුක්ති විඳින සැමදේම තණ්හාවෙන් තොරව භුක්ති විඳින්න අනුන්ගේ අකමැත්තෙන් භුක්ති නොවිඳින්න. බලහත්කාරයෙන් බොරුවෙන්, නැතිගුණ පෙන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කර ගැනීමට නොයන්න.
ලෝකය තුළ අධර්ම බලවේගවල ශක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, නොසලකා හැරිම්, බාධාවලින් පිරුණු ගමනක්. ඔබ මේවා ඔබේ ගමනට ආශීර්වාදයක් කරගත යුතුය. මන්ද මේ සියල්ල ලෝකයේ පවතින ධර්මතාවයන්ය, ඕනෑම පරිසරයකදී ඔබ ‘හොඳින් ඉන්න’ දක්‍ෂ වෙන්න.
ඉන්ද්‍රියන් හයටම ඵස්සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටියදීම ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස් අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න උන්වහන්සේ ගිය මඟ අධ්‍යයනය කරන්න.
ප්‍රාණ ඝාතයට සිත ඇතිවෙන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන්ම දකින්න. එවැනි සිත් සංස්සාරයේ ඔබට මහා දුක් කන්දරාවක් උරුම කර දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක් ලෙස ඉපිද ප්‍රේත ලෝකයට, නිරයට යෑමට ලැජ්ජාව, භය ඇතිකර ගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදී වන්න.
පින්කලා කියලා වැඩක් නැහැ. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවෙන තණ්හා සිතුවිලි අතහැරීමට අවබෝධය තිබෙන්න අවශ්‍යයි.
තණ්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමක්. දේපල, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්හාව ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ කොතෙක් පින් කළද ප්‍රේත ආත්මවලට වැටීමට අතිශයින්ම හේතුවක්. මක් නිසාද ? උපාදානයමයි ඊලඟ භවය සකස් කර දෙන්නෙ
ඔබ මිය යන මොහොතේ ඔබේ සිතේ ඇතිවෙන හැම සිතුවිල්ලක්ම අනිත්‍ය වශයෙන් දැක්කොත්, ඔබ ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන්ම ඔබ මාර්ග ඵලලාභී දෙවියන් බඹුන් අතර උපතක් ලබනවා.
ඔබට බැරි නම් දින කිහිපයක් ඔබගේ දේපල, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුරබැහැරක, වන්දනාවක, හුදකලාවේ සිටින්න. ඔබ ස්ථිර වශයෙන් දැනගන්න ඔබ මිය යන මොහොතේ ඔබට බැරිවෙනවා මේවා අතහැර ගන්න.
සත්ත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක් ගෙනදෙන අකුසල්, බොහෝ වෙලාවට අනෙක් වැරදි සිදුවන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදිවල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්මවල ඉපදෙනවාමයි.
මිනිසුන් සියයට සියයක්ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යාම නිසයි. දිවට, කයට රස පහස සොයන්නට යාම නිසයි.
ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකර ලැබූ දිව්‍ය කාම සම්පත් නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩියි.
භවයට ඔබ කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන භවයට ඇති කැමැත්තෙන් මිඳෙන්න.
ලෝකයේ ස්වභාවය අපට වෙනස් කළ නොහැකියි. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟයි. ලෝක ස්වභාවය සමඟියි. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කර ගැනීමයි. ලෝකයේ අනිත්‍ය ස්වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිඳීමට වෙර දැරිමයි.
ජීවිතය ඉදිරියට අභියෝග පතිතවන විට පලා නොයන්න, බිය නොවන්න, යටත් නොවන්න, පිරිත් පොත අතට නොගන්න, බුදු ගුණ නොසිතන්න, ඔබත්, අභියෝගයක ප්‍රතිඵලයත් ඔබේ නොවේ යැයි සිතන්න. එවිට ඔබ දකින්නේ සැබෑම බුදු ගුණයයි.
අපේ උදවිය කුණුවෙන පළතුරු වට්ටියක්, ප්‍රේත ලෝකයට පාර පෙන්වන සල්ලි කොලයක් හිසමත තබාගෙන ව්‍යාපාර, රැකියා, විවාහය, තනතුරු ගැන කෙළ හල හලා දේවාල වන්දනාවේ යනවා. ඔය පූජා වට්ටිය බිම තියලා තෙරුවන් ගැන සිතන්න. ඔබ සැබැවින්ම දෙවියන් අතරට යන කෙනෙක් වේවි.
ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ, දිව්‍යලෝක, මනුෂ්‍යලෝක ප්‍රාර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජිවත් වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා.
අනිත්‍යභාවයට පත්වන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘථග්ජන සත්ත්වයා අගමුල පැටලුණ නූල් බෝලයක් වගේ යැයි ලොව්තුරා බුදු සමිදුන් දේශනා කළේ මේ නිසයි.
නිරතුරුවම අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් වඩන්න. මෙම
ධර්මතාවයන් පිංවත් ඔබව මේ භව ගමනේදී අප්‍රමාදීභාවයට පත්
කරාවි. හඬන දොඩන මිනිසුන් අතර ඔබ සමාධිමත් මිනිසකු
කරාවි.
අනිත්‍ය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මඟහැර යන්න නොවේ.
අවබෝධ කරගැනීමටයි. පිංවත් ඔබ අවබෝධය කරා යෑමට
පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ
වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන් වත් පොහොසත්කම්වලින්
ඇතමෙක් ජය ගන්නා බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබා ගන්නේ
ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උකසට තියලා. ඊලඟ ජීවිතයේදී
මේ අයට ලැබුණා වූ මහේශාක්‍ය නැමැති මුදලත්, ඊට අදාළ
පොළියත් දෙකම ගෙවන්නම වෙනවා.
පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා, ශ්‍රද්ධාවත්, ශීලයත් උකසට තබා
ජීවිත ජයගත්ත අය තමයි ඔය ප්‍රේත, තිරිසන් ලෝකවල උපත
ලබලා දුක නැමැති මුදලත්, පොළියත් දෙකම ගෙවමින් ඉන්නේ.
ඔබේ ඔය ඇස් ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුස්‍යයන්ම තමයි. අධර්මයෙන් හම්බ කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්ති විඳලා ශ්‍රද්ධාව, ශීලය, දානය නම් වූ ඔබට පිහිට වන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මේ කරුණු සිතන කෙනායි සතර අපාය පිළිබඳ බිය ඇතිකර ගන්නේ.
සීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ ඔබට උපකාරී වූ ඒ ධර්මතාවයන්ට ගරු කරන්න ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කර ගන්න.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්ම ඵලය පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලයම, දානයම උදාවන සෑම දිනකම ඔබට මුණ ගැසෙන කල්‍යාණ මිත්‍රයා කරගන්න.
තෙරුවණ් සරණ ගිය පිංවත් ඔබ ජිවිතයේ සෑම විශේෂ අවස්ථාවකදීම ජිවිතය පටත් ගන්න ඕන තෙරුවන් ගුණ කෙරෙහි හිත පිහිටුවලා, සීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම, ආගන්තුකව පැමිණෙන මිත්‍යා දෘෂ්ටින් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ උතුම් බෞද්ධකම අමතක වෙනවා.
අප්‍රමාණ සැප ලැබිය හැකි ධර්ම මාර්ගයක් ඇස් පනා පිට තිබියදී අති දීර්ඝ දුකක් උදෙසා හේතු වන කෙටි සැපයමයි අපි සොයන්නේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ නමකගේ ඉගැන්වීම්වල අර්ථයන් නොසලකා හැර ආගන්තුක වටිනාකමක් අපේ කරගැනීම අභාග්‍යයක්.
ලෝකයේ බරෙන් ඔබ නිදහස් වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියා දෙන්න. ලෝකයත් සිතේ ස්වභාවයත් අනිත්‍ය පමණක්ම බව දකින්න. සිතේ අනිත්‍ය බව අවබෝධ කරගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්වභාවය ඔබට අවබෝධ වේවි. සිත අතහැරුණු විට, ඔබට ලෝකයද අතහැරෙනු ඇත.
දරුවන්ට, බිරිඳට රැස්කරලා අකුසල් පුරවාගෙන, හිස් අතින්ම මැරිලා අපාගත වන්න මිනිසා හරිම දක්‍ෂයි.
බලන්න..... අත්හැරීමත්, රැස්කිරීමත් අහසයි පොළොවයි වගේ
වෙනස් සමීකරණ දෙකක්. එතරම් පරතරයක් තිබියදීත් එහි වෙනස
ඔබ දකින්නේ නැහැ. ඔබ තුළ තිබෙන අවිද්‍යාව, තණ්හාව නිසා
දරාගෙන සිටින බර කොපමණක් ද යන්න ඔබටම දැනෙන්නේ
නැහැ.
ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන්
ඔබ නිදහස් වන්න. එවිට ඔබ ලොව නිදහස්ම පුද්ගලයා වෙනවා.
මම මගේ, අප, අපේ කියලා කල්ප කෝටි ගාණක සිට පුරවපු බර
කඳ ඔබ දරාගෙනයි සිටින්නේ.
ඔබ සියල්ලම අත් හරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. ඔබට මේ සියල්ලම ලැබෙදිදී, මේ කිසිවක් අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධකර ඇති නිසායි.
පිංවත් ඔබට මේ ලැබූ ජීවිතයද සැප කෙරෙහිම තෘෂ්ණාව නිසා සකස් කොටගත් ජීවිතයක්. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස් වෙලාද ඉන්නේ කියලා.
සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක් ඔබේ පාලනයට යටත් කර ගන්න.
හෙමින් උදාවෙන අති දිර්ඝ අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලය නොව ධර්මයෙන් තොර මිනිස් තිරිසනුන්ගේ කාලයක් වනු ඒකාන්තයි. එදාට මිනිසාද තිරිසන් සතාද ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයටයි.
මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකි වන්නේ නායකයෙක්, පාලකයෙක්, කෝටිපතියෙක්, උගතෙක් ලෙස මිය යාමෙන් නොව, සතර අපායෙන් මිදුණු උතුම් මනුෂ්‍යයෙක් ලෙස මිය යාමෙන් බව ඔබ නිහතමානීව සිතිය යුතුව ඇත.
ශ්‍රී සද්ධර්මය පවතින අවස්ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක්
ලබා නායකත්වයට ඇති ගිජුභාවය නිසා අප්‍රමාණ අකුසල් සිදුකර
තිරිසන් භවයකට වැටුනහොත්, කල්ප ගණනාවකට සුගතිගාමී
ජිවිතයක් නම් ලැබිය නොහැකියි.
මන්ද තිරිසන් සත්ත්වයන් තුළ ඇති වෛරය නිසාම තිරිසන්
ලෝකයෙන් නිරය කරාම ඇදී යාමේ ස්වභාවය නිසයි.
පිංවත් අයෙක් භික්‍ෂුවගෙන් ඇහුවා ‘ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක් භාවිතා නොකරන්නේ ? කියලා එවිට භික්‍ෂුව ලබාදුන් පිළිතුර තමයි, ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්වරූපය දකින්න එවිට ඔබ දකින්නේ පිරුවානා පොත් වහන්සේ කියලා.
මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි මෙලොව තමාට
පාලනය කිරීමට තරම් දෙයක් නොමැති බව දකින තැනැත්තා.
ඔහු ඉන්නේ “සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි”. ඒ තමයි
අරහත් උත්තමයා උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා.
මම තුළ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැයි දකිනවා.
කුමක්ද ? එහෙනම් මෙතන තිබෙන්නේ වේගයක්. ඇතිවෙමින්
නැතිවෙන රූපයක් සහ සිතක් පමනක් බව දකිනවා.
ලෝකය තෘෂ්ණාවෙන් දියුණු වෙන්න. ලෝකය ආධ්‍යාත්මික අතින් පිරිහෙනවා. ආධ්‍යාත්මික අතින් පිරිහෙන ලෝකය විසින් ලෝක ස්වාභාවයන් තමන්ගේ පාලනය යටතට ගන්න හදනවා. මේ තරඟයෙන් කවදාහරි දවසක ලෝකයා අන්ත පරාජයකට පත්වෙනවා.
එම පරාජය ලෝකය ලබන්නේ මහා විනාශයකුත් සමඟයි. ලෝකයේ ස්වභාවය වෙනස් කල හැකි ජගතෙක් මෙතෙක් තුන් ලෝකයේද පහල වී නැහැ. අනාගතයේදී ත් එසේමයි. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටවත් බැහැ ලෝකයේ ස්වභාවය වෙනස් කරන්න.
ලෝකයේ ස්වභාවය අනිත්‍යයයි. අනිත්‍යයේ ස්වභාවය වේගයයි. ඔබ කවදාහරි නිවීම ලබන්නේ තණ්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන, ඇයගෙන් මිදුණු දාටයි. එතෙක් ඔබ කුසල් අකුසල් පිරිණු මඟක නායකයන්ද, පාලකයන්ද වීමේ දොලදුක සංසිදුවා ගැනීමට අකුසල්ම කර ගනිමින් ගමන් කරනවා.
ඇස නිසා දුකට පත් නොවන්න, ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න ඇස නිසා, ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්‍ෂයෙක් නොවන්න. මෝහයේ සළුපිළිවලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම බාහිර රූපයනුත් නිරතුරුව ප්‍රඥාවෙන් නිරුවත්කර බලන්න.
ලැජ්ජා වෙන්න එපා, බිය වෙන්න එපා, එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතැන සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැමයි.
වෛරයේ ක්‍රෝධයේ සිතුවිලි වෙනුවට මෛත්‍රී සිතුවිලි නිතර මෙනෙහි කරන්න. තමා දුකට පත්කළ පුද්ගලයාගේ රුව වෙනුවට ලොව්තුරා බුදු සමිදුන්ගේ රුව ගුණ සිහි කරන්න. ධර්ම රත්නයේ, සංඝ රත්නයේ අනන්ත වූ ගුණ සිහි කරන්න.
සතර අපායේ දුක වෙනුවට, සුගතියක උපත ලබා ගැනීමට ඔබ ඔබට අනුකම්පා සහගත වන්න. ඔබ මිස වෙන කවුරුන් නම් ඔබට අනුකම්පා කරන්නද ?
ඔබ ප්‍රවේශම් වෙන්න. කාමය අනතුරු සහිතයි. කාමයේ බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මයි. ඒවා කාමයේ ආදිනවයන්. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීම පුහුණුවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජිවිතයට පුරුදු කිරීමයි.
ඔබේ සතුට උදෙසා තවත් අයෙක් වෛරයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක් කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරවත් අයකුගෙන් පිඩාවට පත් වුවද, ඔහු නිසා ඔබ වෛරය, ක්‍රෝධය ඇතිකර නොගන්න. එක ගොදුරක් නිසා දුක් රැසක උරුමක්කාරයෙක් නොවන්න.
අනුන් ඔබේ සිහින බිඳදැම්මා කියලා ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක් ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක් ඔබේ කරගෙන ඔබ ඇයි දුක් විඳින්නේ ?
ඔබේ සිත පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය සංකීර්ණ බවෙන් මිදේවි. ඔබට දැනේවි ජීවිතයේ අවබෝධකර ගැනීමට ගොඩක් දේවල් නොමැති බව. ජීවිතය මහා ගොඩක් ලෙස දැනුනද ඔබට අවබෝධ කර ගැනිමට ඇත්තේ එකක් පමණක් බව ඔබට දැනේවි. සිත වේවා, කය වේවා ඒ අනිත්‍යයක් පමණක්මයි.
හැකි තරම් දානාදී පිංකම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්වාමියෙකු ලෙස ඔබ නිරතුරුවම අවංක වන්න. ඔබ ලබන සතුටින් යම් ප්‍රමාණයක් හෝ ඔබේ සේවකයාද ලබනවා දකින්න ඔබ අවංකව කැමති වන්න.
මහා ගමනක්, මහා දුකක් වළක්වා ගැනීමට ඔබ කල යුත්තේ විසුරුණු, සලිතවුණු ඔබේ සිතේ ස්වභාවය බොහෝම නිවී සැනසිල්ලේ අවබෝධ කර ගැනීමයි. කලබල වන්න, ඉක්මන් වන්න, යමක් අල්ලා ගන්න උත්සාහ ගන්න එපා.
අල්ලාගත් දේ අනිත්‍ය බව දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිඳ සමඟ නිඳන සයනයේ සිටියදීත් ජීවිතය විඳින්න. එහෙත් ඒ විඳීම අනිත්‍ය බව දකින්න.
ඔබ ඇසුරු කරන ඔබට අයිති සැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකිමින් මාගේ ආච්චි, සියා, අම්මා, තාත්තා රැස් කරපු හම්බ කරපු හැම දෙයක්ම තියලයි මැරුණේ. කිසිවක් අරගෙන ගියේ නැහැ. මමත් මේ සියල්ලම දාලමයි මිය යන්නේ. මේ විදිහට ජීවිතයේ අනිත්‍ය දකින්න.
ඔබ දක්‍ෂ වන්න ව්‍යාපාරය, විවාහ ජීවිතය, මව්පියන් පෝෂණය කරන ගමන් එම බැඳීම් වලට බාධාවක් නොවන ලෙස මේ සසර දුකෙන් ගැලවෙන්න.
මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනක, ලෝකය ගියේ කවදත් දුක දෙසටමයි. විනාශය දෙසටමයි. අපි කිසිවෙකුට සටන්කොට ලෝකය නිවැරදි කරන්නට බැහැ. ලෝකය පවතින්නේ ලෝකයේ ස්වභාවයෙන්.
මේ උතුම් බුද්ධොත්පාද කාලයක ඔබ උතුම් මනුෂ්‍යත්වයක් ලැබුවේ නැවත සතර අපායේ වැටෙන්නද ?
සතුන් දහස් ගණනින් විනාශ කරන මිනිසුන් අතින් සිදුවන එම බලවත් අකුසල කර්මයන්, ඊලඟ භවයේදී විපාක දීමට අවශ්‍ය පරිසරය ලෝකය තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. දිනකට බ්‍රොයිලර් කුකුළන් දහස් ගණනින් මරපු මිනිසුන්මයි නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා ඉපදෙන්නේ. ඒ උපදින්නේ මැරුම් කන්නමයි. නිදහසේ මිය යන්නට නොවෙයි. නිදහසේ ගෙමිඳුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ පහස විඳින්න නොවේ. මේ සත්ත්වයන් අතීතයේ කළ කර්මයන්මයි ගෙවන්නේ.